1004089_549514515107262_267706127_n
icon
slsot
ශ්‍රී ලාංකික වෘත්තීය චිකිත්සක සේවාවේ ඉතිහාසය

 

ශාරීරික හා මානසික රෝගී මෙන්ම ආබාධිත අයට ප්‍රතිකාර හා පුනරුත්ථාපන කරන එක්තරා ක්‍රමවේදයක් ලෙස වෘත්තීය චිකිත්සාව කෙටියෙන් හැදින්විය හැකි අතර ලංකාවේ ප්‍රධාන මහ රෝහල්, ශික්ෂණ රෝහල්, විශේෂිත රෝහල් සහ සමහරක් මූලික රෝහල් මෙන්ම හමුදා රෝහල් මගින්ද මෙම සේවාව රෝගී ජනතාවට ලබා දෙයි. එසේම විශේෂිත පුද්ගලික රෝහල් කිහිපයකින්ද වෘත්තීය චිකිත්සක සේවය ලබා දෙන අතර ඉදිරියේදී සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් වෘත්තීය චිකිත්සක සේවාව පුලූල් කිරීමේ අරමුනෙන් ප්‍රජාව තුළ වෙසෙන රෝගින්ට එහිදීම ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය නිලධාරීන් පුහුණු කිරිමට මූලික කටයුතු දැනටමත් ආරම්භ කොට ඇත.


ලෝක වෘත්තීය චිකිත්සක සංගමය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ශ්‍රී ලංකා වෘත්තීය චිකිත්සක වෘත්තීය වේදීන්ගේ සංගමය 1988 දී ලෝක වෘත්තීය චිකිත්සක සංගමයේ අර්ධ සාමාජිකත්වය ලබා ගෝලීයකරණය අභියසට ගෙනගිය අතර 2000 වසරේදී සංගමයට ලෝක වෘත්තීය චිකිත්සක සංගමයේ පූර්ණ සාමාජිකත්වය ලබමින් එහි මුදුන් පෙත්තටම පිවිසින. මේ මගින් ලංකාවේ භෞතික චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විදුහල මගින් පවත්වාගෙන යන  වෘත්තිය චිකිත්සක පාඨමාළාව ජාත්‍යන්තරව පිළිගෙන ඇති අතර මේ නිසා ලංකාවේ අධ්‍යාපනය ලැබූ වෘත්තිය චිකිත්සක නිලධාරියෙකුට ලෝකයේ ඕනෑම රටක සේවය කිරීමේ වරප්‍රසාදය හිමිවීම ශ්‍රී ලංකාව ලැබූ විශේෂ ගෞරවයක් මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකීය වෘත්තීය චිකිත්සක නිලධාරීන් ලද ඉහළම ජයග්‍රහණයක් වේ.


එසේම රාගම වෛද්‍ය පීඨයට අනුබද්ධව පවත්වාගෙන යනු ලබන වෘත්තීය චිකිත්සක උපාධි පාඨමාළාව හැදෑරීමේ වරප්‍රසාද මෙම සියළුම නිලධාරින්ට හිමි වී ඇත. දැනට රාජ්‍ය සේවයේ යෙදෙන පරිපූරක වෛද්‍ය සේවයට අයත් නිලධාරින්ගෙන් වෘත්තීයේ සියළු දෙනා වෙනුවෙන් පමණක් පැවැත්වෙන එකම උපාධි පාඨමාළාව මෙය වේ. 1976 වර්ෂයට පෙර වෘත්තීය චිකිත්සක නිලධාරින් පුහුණු කරන ලද්දේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිලධාරින් එංගලන්තය, ඉන්දියාව වැනි විදේශ රටවලට යැවිමෙනි. එම විදෙස් පුහුණුවෙන් පසුව වෘත්තිය චිකිත්සක නිලධාරීන් ලෙස ලංකාවේ සේවයට පැමිණි මොවුන්ගේ සේවය ලබා ගැනිමට හැකි වුයේ කොළඹ ආසන්න රෝහල් කිහිපයකට පමණක් සීමා සහිත ලෙසයි. මෙහිදී ලංකාවේ ප්‍රථම වෘත්තීය චිකිත්සක නිලධාරියා වශයෙන් ඩී.ජේ අතුකෝරාල මහතාගේ නම ඉතිහාසයට එක්විය. එසේම වෘත්තීය චිකිත්සක නිලධාරීන් ලෙස එවකට සේවය කළ එන්.බී. සේනානායක, පී. වර්ධරාජා, මාර්ටින් සිල්වා, ඉන්ගී්‍රඩ් විජේරත්න, වීරනායක යන මහත්ම මහත්මීනගේ නම්ද සදහන් කළ යුතුය.


මෙලෙස ප්‍රමාණවත් වෘත්තීය චිකිත්සක සේවාවන් රටතුළ නොවූයෙන් 1974 දී සෞඛ්‍යය බලධාරින් විසින් ලෝක සෞඛ්‍යය සංවිධානයේ :උ්‍යධ- විශේෂඥ වෘත්තීය චිකිත්සක පර්න් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකව සිටි එල්.ඩී.පී ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි කමිටුවක් පත්කරන ලදී.


ඒ කමිටුවේ නිර්දේශයන් සියල්ල කි්‍රයාත්මක නොකලද සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් ලංකාව තුළ වෘත්තිය චිකිත්සක නිලධාරින් පුහුණු කිරීමට මූලික පියවර ගත් අතර ඒ සදහා ආචාර්යවරුන් ලෙස ශිල්පීය ඥානය ලබා ගැනීමට ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් ශිෂ්‍යත්ව පිරිනමන ලද අතර ඒ ස`දහා එවකට සේවයේ නියුතුව සිටි වෘත්තීය චිකිත්සක ඕ. සේනාරත්න මහත්මිය සහ පී.ඩබ්. විදානගමගේ මහතා එංගලන්තය බලා පිටත් කෙරින.


මෙසේ ශ්‍රී ලංකාවෙ තුළ වෘත්තීය චිකිත්සක නිලධාරින් පුහුණු කිරීම 1976 වර්ෂයේ සිට ආරම්භ කිරීමේදී ප්‍රශංසනීය සේවයක් ඉටුකළ එවකට භෞත චිකිත්සක විදුහලේ ප්‍රථම විදුහල්පති ටී. ප්‍රනාන්දු මහත්මියද, වෘත්තීය චිකිත්සක ආචාර්ය ඕ. සේනාරත්න මෙනෙවියද මෑතකදි අප අතරින් වියෝ වුනු ආචාර්ය පී.ඩබ්. විදානගමගේ මහත්මාද විශේෂයෙන් සිහිපත් කළ යුතු අතර එවකට විදුහලේ සිටි භෞත චිකිත්සක ආචාරිනි පද්මිණී මෙන්ඩිස් මහත්මියත්  භෞත චිකිත්සක ආචාර්ය ඩබ්. විජේතුංග, පී. රණසිංහ යන මහත්වරුන්ගේ සහයෝගයද මතකයට නැංවිය යුතුය.


පසු කාලීනව ශ්‍රී ලංකාවේ වෘත්තීය චිකිත්සාවේ අධ්‍යාපනික මෙහෙවරට හා ප්‍රචලිත කිරීමේ මෙහෙවරට පූර්ණ ලෙස දායක වූ ශ්‍රී ලංකා වෘත්තීය වේදින්ගේ වෘත්තීය චිකිත්සක සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ සහ ජ්‍යෙෂ්ඨ වෘත්තිය චිකිත්සක ආචාර්්‍ය නිමල් ලියනගේ මහතා මෙන්ම භෞත හා වෘත්තීය චිකිත්සක විදුහලේ පතිනියව සිටී වෘත්තීය චිකිත්සක අධිකාරී නන්දනී සමරනායක මහත්මියද විශේෂයෙන්ම සිහිපත් කළ යුතු වේ.


එසේම මෙම සේවාවේ ගුණාත්මක භාවය උපරිම තලයට පත් කිරීම සදහා උපාධි පාඨමාලාව ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ශ්‍රී ලංකා වෘත්තීය වේදීන්ගේ වෘත්තීය චිකිත්සක සංගමයේ, ශ්‍රී ලංකා වෘත්තීය චිකිත්සක සංගමයේ සියලූම නිලධාරින්ටත් අවසාන වශයෙන් එම අභිමතාර්ථය යථාර්ථයක් බවට පත් කිරීමේ මෙහෙවරට මුළුමනින්ම උරදුන් රාගම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය රාජිත වික්‍රමසිංහ මහතාටත්, දැනට පීඨාධිපති වශයෙන් කටයුතු කරන මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියටත් අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කල යුතු වේ.

- මෙය පී.ඩී.යාපා මහතා විසින් ලක්බිම පුවත්පත වෙත සපයන ලද ලිපියක් ඇසුරිණි.